Thursday, November 2, 2017

මවුවරුන්ගේ, දියණියන්ගේ සහ අරගලකාරියන්ගේ කතාවක් : Suffragette

 ඉතිහාසයක් පුරා මිනිසුන්  අයිතීන් යම් පමණකින් හෝ දිනා ඇත්තේ සටන් කරමින්, කැප කිරීමෙන් බව නොරහසකි. මිනිස් සමාජයේ විවිධ  යුගයන්හි විවිධාකාරයෙන් පීඩාවට පත් වූ මිනිසා ධනවාදය හමුවේද අනවරත අරගලයක නිරතවෙමින් සිටියි. කාන්තාවද ඉතිහාසයක් පුරා අනේකවිධ දුක්පීඩා වීද ඇත. කාන්තා අයිතීන්  දිනාගනිමද ඉතිහාසයක් පුරා දුෂ්කර කාල වකවානු පසු කරමින් ඉදිරියට පැමිනි අතර අදද දිනාගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. යුරෝපයේ වැඩවසම් සමාජය බිඳවැටී ධනවාදය කරළියට පැමිණිමත් සමඟ දේශපාලන පක්ෂද කරළියට පැමිණීම දක්නට ලැබුණි. ආරම්භයේදී ඡන්ද අයිතිය හිමි වුයේ ධනය හා බලය හිමි ඉතා සුළු පිරිසක් පමණි. විවිධාකාර අරගල ඔස්සේ වැඩකරන කම්කරු ජනයාට ඡන්ධ අයිතිය දිනාගත හැකි වුවත් එහිදීද කාන්තාව නොසලකා හරින ලදී.

දේශපාලනය පිලිබඳ තීරණ ගැනීමට තරම් උචිත මානසික තත්ත්වයක් කාන්තාවක් සතු නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් කාන්තාවගේ දේශපාලන අයිතිය යටපත් කිරීමට පාලකයන් කටයුතු කරන ලදි. මෙසේ දශක ගණනාවක් නොසලකා හරින ලද සිය අයිතිය දිනාගැනීමට විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඔස්සේ ගමන් කරමින් විසඳුමක් නොමැති වූ තැන ‘සිවිල් නීති කඩ කිරීමේ ‘ ව්‍යාපාරයක් දියත් කිරීමට 'Suffragette’ නමින් සංවිධානයක් බ්‍රිතාන්‍යයේ බිහිවිය. මිනිත්තු 106ක් පුරා දිගහැරෙන 2015 වසරේ නිකුත් වූ 'Suffragette' සිනමා නිර්මාණය ගෙත්තම් කරන්නේ 1912-1913 වකවානුවේ ඉහත සංවිධානයේ ක්‍රියාකාරිත්වය අළලායි.Sarah Gavron විසින් අධ්‍යක්ෂණයෙන්ද, Abi Morun විසින් රචනයෙන්ද, Alison Owen සහ Faye Ward විසින් නිෂ්පාදනයෙන්ද දායක වීම තුළද Suffragette හි ඇත්තේ සුවිශේෂත්වයකි. ඒ අදාල වගකීම් සියල්ල කාන්තාවන් විසින්ම දැරීමයි.

Suffragette හි ප්‍රධාන චරිතය වන Maud Watts සඳහා පණ පොවන්නේ සම්මානනීය තරුණ රංගන ශිල්පිනියක් වන Carey Mulligan ය. Maud Watts ගේ සැමියා ලෙස පෙනී සිටින Sonny Watts සඳහා දායක Ben Whishaw වන අතර කර්මාන්ත ශාලාවේ මිතුරිය වන Violet Hiller වෙනුවෙන්  Anne-Marie Duff ද රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන චරිතය Maud Watts රචකයාගේ ප්‍රබන්ධ  චරිතයකි. කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය, සමාජ ආර්ථික පීඩනය, පාලකයන්ගෙන් එල්ලවන මර්දනය, කාන්තාව පත්ව ඇති දුක්ඛිත තත්ත්වය සිනමා නිර්මාණයේ වියමනක් ලෙසින් ගැටගසන්නේ Maud Watts හරහා ය. එනම් සියලු සිද්ධීන් අන්තර්සම්බන්ධ කරන චරිතය ඇයයි. කතාව ආරම්භ වන්නේ ඵ්මා උ්එඑි’  සේවය කරන Glass House නම් රෙදි පිරිසිදු කරන කර්මාන්තශාලාවෙන්ය. රෙදි තම්බා පිරිසිදු කර, සෝදා, වේලා, නැවත සිනිඳු සළු ලෙසින් නිමවීම ඔවුන්ගේ කාර්යයි. පිලිස්සුණු දෑත්, පුපුරාගිය ඇඟිලි, දැඩි වෙහෙසින් වගුරන දහඩිය ඔස්සේ සිනමාකරු සිය කතාන්දරය අරඹයි.



මෙහි නිරූපණය කරන්නේ අදින් සියවසකටත් පෙර සමාජයක් බැවින් මිනිසාද ඇතුළුව සියලු භෞතික දේ අදාළ යුගයටම අනුරූප වන සේ යොදාගැනීමට සමත්ව ඇතිබව පැවසිය යුතුය. ඇඳුම් පැළඳුම්, නිවාස, මං මාවත්, නගර, කර්මාන්තශාලා, සියවසකට එහා සමාජ ජීවිතය අප ඉදිරියේ සජීවීව ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාකරුවා දැරූ ප්‍රයත්නය සිනමාවට පමණක් නොව එදා සටන් කළ කාන්තාවන් වෙනුවෙන්ද කළ යුක්තිය ඉෂ්ට කිරීමක් බව පැවසිය යුතුමය. Suffragette රචනා කළ Abi Morgan ව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. මන්ද, චලනරූප ඔස්සේ අප තුළට පරාවර්තනය කරන සිදුවීම් මාලාව වඩ වඩාත් ප්‍රභලව කාවද්දන දෙබස් මාලාවක් නිර්මාණය පුරාවට ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමයි. සමාජ අසාධාරණය, නොසලකා හැරීම, පහත්කොට සැලකීම, ලිංගික අතවර, ගෘහස්ථ පීඩනය ආදී කාන්තාවට අත්වන සියලු ආකාරයේ පීඩාවන් වඩාත් සංවේදීව ප්‍රේක්ෂකයා ඉදිරියේ මූර්තිමත් කිරීමට දෙබස් සංයෝජනය මහඟු කාර්යයක් ඉටුකර ඇතිබව ද රසවින්දනයේ ඉහළ තලයකට ප්‍රේක්ෂකයා ඔසවා තබා ඇති බවද මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.


රංගනයේදී දක්වා ඇති ඉතා විශිෂ්ට හැකියාවද මෙහිදී අගය කළ යුතුමය. Maud Watts ගේ චරිතය සඳහා පණ පොවන Carey Mulligan මවක් ලෙසත්, බිරිඳක් ලෙසත්, සේවිකාවක් ලෙසත්, අයුක්තියට එරෙහිව නැගී සිටින වීර්යවත් කතක් ලෙසත්, මිතුරියක් ලෙසත් නිර්මාණය පුරාවට සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇති බව සහතිකය. සෙසු චරිත අතර Eddith Ellyn ලෙස හමුවන Helena Bonham Carter ද ඉතා විශිෂ්ට රංගනයක යෙදෙයි. Maud ඇතුළු කණ්ඩායමට නායකත්වය සපයන්නේ ඇයයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වරින් වර පොලිස් අත්අඩංගුවට පත්වන ඇය ඉතා දුෂ්කර කාල වකවානු මධ්‍යයේ වුවත් නොසැලී සිය අරමුණ වෙනුවෙන් සියලු ආකාරයේ කැපකිරීම් කරමින් සිටියි.




සමාජ අසාධාරණයන් අභිමුව ඕනෑම කැපකිරීමක් ඔස්සේ හෝ යුක්තිය ඉල්ලා සටන් කිරීමට කාන්තාවන් පෙළඹුණු අයුරු පෙන්වමින් දිගහැරෙන Suffragette අවසානය සටහන් කරන්නේ තමන්ගේ ඉල්ලීම නෑසුනු ලෙසින් සිටින පාලකයන්ගේ දෑස් කන් විවර කරවීමටත් සමාජයේ අවධානය දිනාගැනීමටත් ගන්නා උත්සාහයකින් අවාසනාවන්ත ලෙස මිය යන Emily Davison ගේ මරණය හා අවසන් ගෞරව සහිත අවමංගල්‍ය පාගමනෙනි. මෙසේ දුෂ්කර හා දීර්ඝකාලීන අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1918දී වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමට පාලකයන්ට සිදු වන අතර පූරුෂයාට සමාන ඡන්ද හිමිකම ලැබෙන්නේ තවත් දස වසරකිනි.



ඉපදුනු නිසා ජීවත් වන, මිය යා නොහැකි නිසා දිවි ගැට ගසන බහුතරයක් අතර ජීවිතයට අරුතක් එක් කිරීමට, අරගලය නිසා තමන් ජීවත්වන බව තේරුම් ගත් දිරිය කතුන්ගේ මෙම කතාව ස්ත්‍රිය දිරිමත් කිරීමටත්, අරගලයන්ට ජීවය සැපයීමටත් ආධ්‍යාත්මික අවියක්ම වන්නේය.

Wednesday, November 1, 2017

මියන්මාරය : ජාත්‍යන්තරකරණය වන රෝහින්ග්‍යා ගැටළුව


මියන්මාරයේ රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ දිනවල ජාතිකවත් ජාත්‍යන්තරවත් සාකච්චාවට ලක්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ විවිධ දේශපාලන බලවේග හා කණ්ඩායම්ද දකුණු ආසියානු කලාපයේ සියලු රටවල ආණ්ඩු මෙන්ම වාමාංශික පක්ෂද, එක්සත් ජනපදය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයද, මේ පිළිබඳව විවිධ අයුරින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ අතර ඇතැම් ප්‍රතිචාරයන් ජාතිවාදී ප්‍රවේශයන් වන අ
තර සමහර ප්‍රතිචාරයන් අධිරාජ්‍යවාදී ඇත පෙවීම්වලට ආරාධනා කෙරෙන ප්‍රතිචරයන්ද වී තිබේ.

රෝහින්ග්‍යවරුන්ගේ ප්‍රශ්නය පසුගිය වසර දෙක තුළදීත් වරක් උත්සන්න වුවද මෙම ප්‍රශ්නයට දශක ගණනාවක ඉතිහාසයක් ඇත.

සංඛ්‍යාවෙන් මිලියන 1-1.3 ක් පමණ වූ රෝහින්ග්‍යවරුන් බහුලව වයඹදිග මියන්මාරයේ රක්හින් පළාතේය. රක්හින් පළාත උතුරින් බංග්ලාදේශයටත් ඉන්දියාවටත් මායිම් වන අතර බටහිරින් ඉන්දියන් සාගරයෙන් මායිම් වී ඇත. මෙම පළාතේ බහුතර ජනතාව බෞද්ධාගමික මියන්මාර් වැසියන්ය. රෝහින්ග්‍යවරුන් සුළුතරයයි. රෝහින්ග්‍යා භාෂාව කථා කරන රෝහින්ග්‍යවරුන්ගෙන් බහුතරය ඉස්ලාම් භක්තිකයන්ය. සුළු පිරිසක් හින්දු භක්තිකයන්ය. දශක ගණනාවක් පුරා මියන්මාරයේ ජිවත් වුවද, මියන්මාරය ඔවුන් සිය පුරවැසියන් ලෙස නොසලකයි. මියන්මාර පාලකයෝ රෝහින්ග්‍යවරුන් බංගලිදේශයෙන් පැමිණි නිති විරෝධී සංක්‍රමණිකයන් ලෙස හඳුන්වති. බංගලිදේශය හා ඉන්දියාව ඔවුන් තම රටවල පුරවැසියන් ලෙස නොපිළිගනී. මේ නිසා ඔවුහු කිසිදු රටක පුරවැසිභාවය නොලබා ජිවත්වන ජන කොටසක් බවට පත්වී සිටිති. එතැනින් නොනැවතී ඔවුන්ට මියන්මාරයේ බෞද්ධාගමික ජාතිවාදීන්ගේ නිරන්තර පිඩනයට හා ප්‍රහාරයට ලක්වී ජිවත් වීමට සිදු වී තිබේ.


දෙවන ලෝක යුද්ධ සමයේදී එවකට බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරයේ බෞද්ධ පාලනය ජපානයට සහය පළ කළද රෝහින්ග්‍යා ජනතාව බ්‍රිතාන්‍යයට සහය පළකර තිබුණේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමේ පොරොන්දුව පිටය. යුද්ධයෙන් පසුව එය ලබා නොදුන් අතර නැගෙනහිර පකිස්ථානයට තමන් සම්බන්ධකර ගන්නා ලෙස ඔවුන් කළ ඉල්ලීමද අලි ජින්නා ප්‍රතික්ෂේප කළේය. 1948 සිට 1961 පමණ වනතුරු රෝහින්ග්‍යා මුජහිදින්වරු වෙනම රාජ්‍යයක් උදෙසා සටන් වැදුණහ. ඔවුන්ගේ අරමුණ වුයේ මියන්මාරයෙන් වෙන්වී නැගෙනහිර පකිස්ථානය සමග එක්වීමයි. මියන්මාර රජයේ හමුදා මෙහෙයුම් පරාජයවූ ඔවුහු රජයට අවි භාරදී සිය සටන අත්හැරියෝය. පසුව 1972 දී මුජහදින්වරුන්ගේ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා විමුක්ති පක්ෂය ගොඩනගනු ලැබුණි. මේ සංවිධානයද විසිරුවා හැරීමට සිදු වූ අතර 1974 දී එහි නායකයකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණ පිහිටුවනු ලැබිණි.1978 දී මියන්මාර පාලනය එකී අරගලයට එරෙහිව ක්‍රියාත්මක කළ යුදමය මෙහෙයුමත් සමග මේ ආකාරයෙන්මැ සරණාගත ප්‍රශ්නයක් උද්ගත විය. රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණෙන් කැඩීගිය කොටසක් විසින් රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය පිහිටවනු ලැබුවේ 1982 දිය. පසුව 1998 දී අරකාන් රෝහින්ග්‍යා ඉස්ලාම් පෙරමුණ හා රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය ගොඩනගනු ලැබිය. ඒ යටතේ පිහිටවූ රෝහින්ග්‍යා ජාතික හමුදාව මේ වන විට රෝහින්ග්‍යවරුන්ට වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා සටන් වැද සිටියි. ලොව පුරා විහිදුනු මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙම සටන සඳහා විවිධාකාරයෙන් සහය ලබාදෙමින් තිබේ.

රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ මොහොතේදී ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබෙන්නේ එය හුදෙක් මියන්මාර් පාලනයේ හෝ රෝහින්ග්යාවරුන් අතර ප්‍රශ්නයක් නොවී ඉන් ඔබ්බටද වර්ධනය වී ඇති නිසාය. එය බංගලිදේශය හා ඉන්දියාව වැනි රටවල සරණාගත ප්‍රශ්නයක් බවට පත්වී ඇත. එතනින් නොනැවතී එය ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් ගැටෙන තැනක් බවටද පත් වී තිබේ.

රක්හින් පළාත චීනය ගොඩනගන නව සේද මාවතේ මර්මස්ථානයකි. රක්හින් පළාතේ ක්යුපියු ප්‍රදේශය මෙහිදී විශේෂ වැදගත්කමක් දරයි. ක්යුපියු වරායේ සිට චීනයේ කුන්මින් දක්වා ගොඩනගා ඇති කි.මි. 2806 ක් දිගැති ගෑස් නල මාර්ගය චීනයට විශේෂයෙන් වැදගත් වේ. එමගින් මලක්කා සමුද්‍ර සන්ධිය මඟහරිමින් මැදපෙරදිග ස්වභාවික වායු හා ඛනිජතෙල් චීනය වෙත ගෙන යා හැකි බැවිනි. ඊට අමතරව චීනයේ මුලිකත්වයෙන් රටවල් හයක සමාගම් එක්වී ගොඩනගා ගත සන්ගතයක් ක්යුපියු වරාය සංවර්ධනය කරමින් සිටියි. තවද ඒ මගින් මෙම ප්‍රදේශය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනගමින් සිටියි. මේ නිසා රෝහින්ග්‍යා ප්‍රශ්නය චීනයට මගහැර යා නොහැකි ගැටලුවකි.

යුරෝපය හා එක්සත් ජනපදය මෙම ගැටළුව ‘මානුෂිය අර්බුදයක්’ (Humanitarian Crisis) ලෙස හඳුන්වා දී ඇත. එහි අනෙක් අර්ථය වන්නේ, මෙම ගැටළුව කිසියම් රටක ස්වාධීනත්වය නොසකලා ජාත්‍යන්තර වශයෙන් මැදිහත්විය යුතු තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවය.

එක් පසෙකින් රෝහින්ග්‍යා වැසියන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයක් වන මෙය අනෙක් අතින් රෝහින්ග්‍යවරුන් හා බෞද්ධ අන්තවාදීන් අතර ගැටුමක්ද වී තිබේ. එහෙත් ඒ අතරම එතනින් නොනැවතී එක් එක් රටවල හා ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ උවමනාවන් අතර ගැටුම් ඇති කෙරෙන තැනක් බවටද මෙය පත්වී ඇත. එබැවින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුව දක්වන හා ප්‍රතිචාර දක්වන පාර්ශවයන් එය සිදුකරමින් සිටින්නේ ප්‍රශ්නය තමන්ට බලපාන ආකාරයට අනුව බව පෙනෙන්නට තිබේ.

වර්ධනය වන තත්වය පිලිබඳ මත පළකරන දේශපාලන විචාරකයන් සමහර දෙනෙක් රෝහින්ග්‍යා ගැටළුව ආසියානු කලාපයේ යුගොස්ලෝවියව බවට පත්විය හැකියයි අනතුරු අඟවා තිබේ. ඔවුන් පවසන ආකාරයට එක්සත් ජනපදයත් යුරෝපයත් මෙම ගැටළුව මානුෂිය අර්බුදයක් ලෙස විග්‍රහ කරමින් අවශ්‍ය තත්ත්වයන් සකසා ගන්නේ ජාත්‍යන්තර යුදමය මැදිහත් වීමක් සඳහාය. අවසානයේ රක්හින් පළාත කොසෝවෝ මෙන්ම එක්සත් ජනපද මර්මස්ථානයක් බවට පත්කර ගැනීම සඳහාය.

චීනයේ අදහස වී ඇත්තේ මෙම ප්‍රශ්නය මියන්මාරය විසින් විසඳාගත යුතු ගැටළුවක් බවයි. ඒ අතරම එය සාකච්චාවෙන් හා සම්මුතියෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද ඔවුහු පවසති. ඒ අතරම මේ නිසා මේ ප්‍රශ්නය යුගොස්ලෝවියාවේ මතුවූ තත්වය දක්වා වර්ධනය නොවනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරයි.

රෝහින්ග්‍යාවරුන්ගේ ප්‍රශ්නය බැලු බැල්මට පෙනෙන හුදු අයිතිවාසිකම් පිලිබඳ එහෙත් නැත්නම් හුදු ජාතික ගැටලුවට වඩා වැඩි යමක් බවට මේ වනවිටත් වර්ධනය වී ඇති බව පෙනේ. මේ නිසා මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී එක් පසෙකින් රෝහින්ග්යාවරුන්ගේ අයිතීන් ආරක්ෂා වන අතරම අනෙක් පසින් අධිරාජ්‍යවාදයට මෙම ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් සිය ආර්ථික, දේශපාලන හා යුදමය වුවමනාවන් ඉටුකර ගැනීමට ඉඩනොදෙන්නාවූ එකක් විය යුතුය.
-නියමුවා,
2017 ඔක්තෝබර්