ඉතිහාසයක් පුරා මිනිසුන් අයිතීන් යම් පමණකින් හෝ දිනා ඇත්තේ සටන් කරමින්, කැප කිරීමෙන් බව නොරහසකි. මිනිස් සමාජයේ විවිධ යුගයන්හි විවිධාකාරයෙන් පීඩාවට පත් වූ මිනිසා ධනවාදය හමුවේද අනවරත අරගලයක නිරතවෙමින් සිටියි. කාන්තාවද ඉතිහාසයක් පුරා අනේකවිධ දුක්පීඩා වීද ඇත. කාන්තා අයිතීන් දිනාගනිමද ඉතිහාසයක් පුරා දුෂ්කර කාල වකවානු පසු කරමින් ඉදිරියට පැමිනි අතර අදද දිනාගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. යුරෝපයේ වැඩවසම් සමාජය බිඳවැටී ධනවාදය කරළියට පැමිණිමත් සමඟ දේශපාලන පක්ෂද කරළියට පැමිණීම දක්නට ලැබුණි. ආරම්භයේදී ඡන්ද අයිතිය හිමි වුයේ ධනය හා බලය හිමි ඉතා සුළු පිරිසක් පමණි. විවිධාකාර අරගල ඔස්සේ වැඩකරන කම්කරු ජනයාට ඡන්ධ අයිතිය දිනාගත හැකි වුවත් එහිදීද කාන්තාව නොසලකා හරින ලදී.
දේශපාලනය පිලිබඳ තීරණ ගැනීමට තරම් උචිත මානසික තත්ත්වයක් කාන්තාවක් සතු නොවන බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් කාන්තාවගේ දේශපාලන අයිතිය යටපත් කිරීමට පාලකයන් කටයුතු කරන ලදි. මෙසේ දශක ගණනාවක් නොසලකා හරින ලද සිය අයිතිය දිනාගැනීමට විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඔස්සේ ගමන් කරමින් විසඳුමක් නොමැති වූ තැන ‘සිවිල් නීති කඩ කිරීමේ ‘ ව්‍යාපාරයක් දියත් කිරීමට 'Suffragette’ නමින් සංවිධානයක් බ්‍රිතාන්‍යයේ බිහිවිය. මිනිත්තු 106ක් පුරා දිගහැරෙන 2015 වසරේ නිකුත් වූ 'Suffragette' සිනමා නිර්මාණය ගෙත්තම් කරන්නේ 1912-1913 වකවානුවේ ඉහත සංවිධානයේ ක්‍රියාකාරිත්වය අළලායි.Sarah Gavron විසින් අධ්‍යක්ෂණයෙන්ද, Abi Morun විසින් රචනයෙන්ද, Alison Owen සහ Faye Ward විසින් නිෂ්පාදනයෙන්ද දායක වීම තුළද Suffragette හි ඇත්තේ සුවිශේෂත්වයකි. ඒ අදාල වගකීම් සියල්ල කාන්තාවන් විසින්ම දැරීමයි.
Suffragette හි ප්‍රධාන චරිතය වන Maud Watts සඳහා පණ පොවන්නේ සම්මානනීය තරුණ රංගන ශිල්පිනියක් වන Carey Mulligan ය. Maud Watts ගේ සැමියා ලෙස පෙනී සිටින Sonny Watts සඳහා දායක Ben Whishaw වන අතර කර්මාන්ත ශාලාවේ මිතුරිය වන Violet Hiller වෙනුවෙන් Anne-Marie Duff ද රංගනයෙන් දායක වේ. මෙහි ප්‍රධාන චරිතය Maud Watts රචකයාගේ ප්‍රබන්ධ චරිතයකි. කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය, සමාජ ආර්ථික පීඩනය, පාලකයන්ගෙන් එල්ලවන මර්දනය, කාන්තාව පත්ව ඇති දුක්ඛිත තත්ත්වය සිනමා නිර්මාණයේ වියමනක් ලෙසින් ගැටගසන්නේ Maud Watts හරහා ය. එනම් සියලු සිද්ධීන් අන්තර්සම්බන්ධ කරන චරිතය ඇයයි. කතාව ආරම්භ වන්නේ ඵ්මා උ්එඑි’ සේවය කරන Glass House නම් රෙදි පිරිසිදු කරන කර්මාන්තශාලාවෙන්ය. රෙදි තම්බා පිරිසිදු කර, සෝදා, වේලා, නැවත සිනිඳු සළු ලෙසින් නිමවීම ඔවුන්ගේ කාර්යයි. පිලිස්සුණු දෑත්, පුපුරාගිය ඇඟිලි, දැඩි වෙහෙසින් වගුරන දහඩිය ඔස්සේ සිනමාකරු සිය කතාන්දරය අරඹයි.
මෙහි නිරූපණය කරන්නේ අදින් සියවසකටත් පෙර සමාජයක් බැවින් මිනිසාද ඇතුළුව සියලු භෞතික දේ අදාළ යුගයටම අනුරූප වන සේ යොදාගැනීමට සමත්ව ඇතිබව පැවසිය යුතුය. ඇඳුම් පැළඳුම්, නිවාස, මං මාවත්, නගර, කර්මාන්තශාලා, සියවසකට එහා සමාජ ජීවිතය අප ඉදිරියේ සජීවීව ප්‍රතිනිර්මාණය කිරීමට සිනමාකරුවා දැරූ ප්‍රයත්නය සිනමාවට පමණක් නොව එදා සටන් කළ කාන්තාවන් වෙනුවෙන්ද කළ යුක්තිය ඉෂ්ට කිරීමක් බව පැවසිය යුතුමය. Suffragette රචනා කළ Abi Morgan ව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. මන්ද, චලනරූප ඔස්සේ අප තුළට පරාවර්තනය කරන සිදුවීම් මාලාව වඩ වඩාත් ප්‍රභලව කාවද්දන දෙබස් මාලාවක් නිර්මාණය පුරාවට ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමයි. සමාජ අසාධාරණය, නොසලකා හැරීම, පහත්කොට සැලකීම, ලිංගික අතවර, ගෘහස්ථ පීඩනය ආදී කාන්තාවට අත්වන සියලු ආකාරයේ පීඩාවන් වඩාත් සංවේදීව ප්‍රේක්ෂකයා ඉදිරියේ මූර්තිමත් කිරීමට දෙබස් සංයෝජනය මහඟු කාර්යයක් ඉටුකර ඇතිබව ද රසවින්දනයේ ඉහළ තලයකට ප්‍රේක්ෂකයා ඔසවා තබා ඇති බවද මෙහිදී නිරීක්ෂණය කළ හැකිය.
රංගනයේදී දක්වා ඇති ඉතා විශිෂ්ට හැකියාවද මෙහිදී අගය කළ යුතුමය. Maud Watts ගේ චරිතය සඳහා පණ පොවන Carey Mulligan මවක් ලෙසත්, බිරිඳක් ලෙසත්, සේවිකාවක් ලෙසත්, අයුක්තියට එරෙහිව නැගී සිටින වීර්යවත් කතක් ලෙසත්, මිතුරියක් ලෙසත් නිර්මාණය පුරාවට සිය දායකත්වය උපරිමයෙන් ලබා දී ඇති බව සහතිකය. සෙසු චරිත අතර Eddith Ellyn ලෙස හමුවන Helena Bonham Carter ද ඉතා විශිෂ්ට රංගනයක යෙදෙයි. Maud ඇතුළු කණ්ඩායමට නායකත්වය සපයන්නේ ඇයයි. ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වරින් වර පොලිස් අත්අඩංගුවට පත්වන ඇය ඉතා දුෂ්කර කාල වකවානු මධ්‍යයේ වුවත් නොසැලී සිය අරමුණ වෙනුවෙන් සියලු ආකාරයේ කැපකිරීම් කරමින් සිටියි.
සමාජ අසාධාරණයන් අභිමුව ඕනෑම කැපකිරීමක් ඔස්සේ හෝ යුක්තිය ඉල්ලා සටන් කිරීමට කාන්තාවන් පෙළඹුණු අයුරු පෙන්වමින් දිගහැරෙන Suffragette අවසානය සටහන් කරන්නේ තමන්ගේ ඉල්ලීම නෑසුනු ලෙසින් සිටින පාලකයන්ගේ දෑස් කන් විවර කරවීමටත් සමාජයේ අවධානය දිනාගැනීමටත් ගන්නා උත්සාහයකින් අවාසනාවන්ත ලෙස මිය යන Emily Davison ගේ මරණය හා අවසන් ගෞරව සහිත අවමංගල්‍ය පාගමනෙනි. මෙසේ දුෂ්කර හා දීර්ඝකාලීන අරගලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 1918දී වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමට පාලකයන්ට සිදු වන අතර පූරුෂයාට සමාන ඡන්ද හිමිකම ලැබෙන්නේ තවත් දස වසරකිනි.
ඉපදුනු නිසා ජීවත් වන, මිය යා නොහැකි නිසා දිවි ගැට ගසන බහුතරයක් අතර ජීවිතයට අරුතක් එක් කිරීමට, අරගලය නිසා තමන් ජීවත්වන බව තේරුම් ගත් දිරිය කතුන්ගේ මෙම කතාව ස්ත්‍රිය දිරිමත් කිරීමටත්, අරගලයන්ට ජීවය සැපයීමටත් ආධ්‍යාත්මික අවියක්ම වන්නේය.
No comments:
Post a Comment