Wednesday, November 1, 2017

මියන්මාරය : ජාත්‍යන්තරකරණය වන රෝහින්ග්‍යා ගැටළුව


මියන්මාරයේ රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ දිනවල ජාතිකවත් ජාත්‍යන්තරවත් සාකච්චාවට ලක්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව තුළ විවිධ දේශපාලන බලවේග හා කණ්ඩායම්ද දකුණු ආසියානු කලාපයේ සියලු රටවල ආණ්ඩු මෙන්ම වාමාංශික පක්ෂද, එක්සත් ජනපදය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයද, මේ පිළිබඳව විවිධ අයුරින් ප්‍රතිචාර දක්වා තිබේ. මේ අතර ඇතැම් ප්‍රතිචාරයන් ජාතිවාදී ප්‍රවේශයන් වන අ
තර සමහර ප්‍රතිචාරයන් අධිරාජ්‍යවාදී ඇත පෙවීම්වලට ආරාධනා කෙරෙන ප්‍රතිචරයන්ද වී තිබේ.

රෝහින්ග්‍යවරුන්ගේ ප්‍රශ්නය පසුගිය වසර දෙක තුළදීත් වරක් උත්සන්න වුවද මෙම ප්‍රශ්නයට දශක ගණනාවක ඉතිහාසයක් ඇත.

සංඛ්‍යාවෙන් මිලියන 1-1.3 ක් පමණ වූ රෝහින්ග්‍යවරුන් බහුලව වයඹදිග මියන්මාරයේ රක්හින් පළාතේය. රක්හින් පළාත උතුරින් බංග්ලාදේශයටත් ඉන්දියාවටත් මායිම් වන අතර බටහිරින් ඉන්දියන් සාගරයෙන් මායිම් වී ඇත. මෙම පළාතේ බහුතර ජනතාව බෞද්ධාගමික මියන්මාර් වැසියන්ය. රෝහින්ග්‍යවරුන් සුළුතරයයි. රෝහින්ග්‍යා භාෂාව කථා කරන රෝහින්ග්‍යවරුන්ගෙන් බහුතරය ඉස්ලාම් භක්තිකයන්ය. සුළු පිරිසක් හින්දු භක්තිකයන්ය. දශක ගණනාවක් පුරා මියන්මාරයේ ජිවත් වුවද, මියන්මාරය ඔවුන් සිය පුරවැසියන් ලෙස නොසලකයි. මියන්මාර පාලකයෝ රෝහින්ග්‍යවරුන් බංගලිදේශයෙන් පැමිණි නිති විරෝධී සංක්‍රමණිකයන් ලෙස හඳුන්වති. බංගලිදේශය හා ඉන්දියාව ඔවුන් තම රටවල පුරවැසියන් ලෙස නොපිළිගනී. මේ නිසා ඔවුහු කිසිදු රටක පුරවැසිභාවය නොලබා ජිවත්වන ජන කොටසක් බවට පත්වී සිටිති. එතැනින් නොනැවතී ඔවුන්ට මියන්මාරයේ බෞද්ධාගමික ජාතිවාදීන්ගේ නිරන්තර පිඩනයට හා ප්‍රහාරයට ලක්වී ජිවත් වීමට සිදු වී තිබේ.


දෙවන ලෝක යුද්ධ සමයේදී එවකට බුරුමය ලෙස හැඳින්වූ මියන්මාරයේ බෞද්ධ පාලනය ජපානයට සහය පළ කළද රෝහින්ග්‍යා ජනතාව බ්‍රිතාන්‍යයට සහය පළකර තිබුණේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමේ පොරොන්දුව පිටය. යුද්ධයෙන් පසුව එය ලබා නොදුන් අතර නැගෙනහිර පකිස්ථානයට තමන් සම්බන්ධකර ගන්නා ලෙස ඔවුන් කළ ඉල්ලීමද අලි ජින්නා ප්‍රතික්ෂේප කළේය. 1948 සිට 1961 පමණ වනතුරු රෝහින්ග්‍යා මුජහිදින්වරු වෙනම රාජ්‍යයක් උදෙසා සටන් වැදුණහ. ඔවුන්ගේ අරමුණ වුයේ මියන්මාරයෙන් වෙන්වී නැගෙනහිර පකිස්ථානය සමග එක්වීමයි. මියන්මාර රජයේ හමුදා මෙහෙයුම් පරාජයවූ ඔවුහු රජයට අවි භාරදී සිය සටන අත්හැරියෝය. පසුව 1972 දී මුජහදින්වරුන්ගේ නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා විමුක්ති පක්ෂය ගොඩනගනු ලැබුණි. මේ සංවිධානයද විසිරුවා හැරීමට සිදු වූ අතර 1974 දී එහි නායකයකුගේ ප්‍රධානත්වයෙන් රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණ පිහිටුවනු ලැබිණි.1978 දී මියන්මාර පාලනය එකී අරගලයට එරෙහිව ක්‍රියාත්මක කළ යුදමය මෙහෙයුමත් සමග මේ ආකාරයෙන්මැ සරණාගත ප්‍රශ්නයක් උද්ගත විය. රෝහින්ග්‍යා දේශප්‍රේමී පෙරමුණෙන් කැඩීගිය කොටසක් විසින් රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය පිහිටවනු ලැබුවේ 1982 දිය. පසුව 1998 දී අරකාන් රෝහින්ග්‍යා ඉස්ලාම් පෙරමුණ හා රෝහින්ග්‍යා සහයෝගිතා සංවිධානය ගොඩනගනු ලැබිය. ඒ යටතේ පිහිටවූ රෝහින්ග්‍යා ජාතික හමුදාව මේ වන විට රෝහින්ග්‍යවරුන්ට වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහා සටන් වැද සිටියි. ලොව පුරා විහිදුනු මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙම සටන සඳහා විවිධාකාරයෙන් සහය ලබාදෙමින් තිබේ.

රෝහින්ග්යාවරුන්ගේ ගැටළුව මේ මොහොතේදී ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබෙන්නේ එය හුදෙක් මියන්මාර් පාලනයේ හෝ රෝහින්ග්යාවරුන් අතර ප්‍රශ්නයක් නොවී ඉන් ඔබ්බටද වර්ධනය වී ඇති නිසාය. එය බංගලිදේශය හා ඉන්දියාව වැනි රටවල සරණාගත ප්‍රශ්නයක් බවට පත්වී ඇත. එතනින් නොනැවතී එය ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් ගැටෙන තැනක් බවටද පත් වී තිබේ.

රක්හින් පළාත චීනය ගොඩනගන නව සේද මාවතේ මර්මස්ථානයකි. රක්හින් පළාතේ ක්යුපියු ප්‍රදේශය මෙහිදී විශේෂ වැදගත්කමක් දරයි. ක්යුපියු වරායේ සිට චීනයේ කුන්මින් දක්වා ගොඩනගා ඇති කි.මි. 2806 ක් දිගැති ගෑස් නල මාර්ගය චීනයට විශේෂයෙන් වැදගත් වේ. එමගින් මලක්කා සමුද්‍ර සන්ධිය මඟහරිමින් මැදපෙරදිග ස්වභාවික වායු හා ඛනිජතෙල් චීනය වෙත ගෙන යා හැකි බැවිනි. ඊට අමතරව චීනයේ මුලිකත්වයෙන් රටවල් හයක සමාගම් එක්වී ගොඩනගා ගත සන්ගතයක් ක්යුපියු වරාය සංවර්ධනය කරමින් සිටියි. තවද ඒ මගින් මෙම ප්‍රදේශය විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසද ගොඩනගමින් සිටියි. මේ නිසා රෝහින්ග්‍යා ප්‍රශ්නය චීනයට මගහැර යා නොහැකි ගැටලුවකි.

යුරෝපය හා එක්සත් ජනපදය මෙම ගැටළුව ‘මානුෂිය අර්බුදයක්’ (Humanitarian Crisis) ලෙස හඳුන්වා දී ඇත. එහි අනෙක් අර්ථය වන්නේ, මෙම ගැටළුව කිසියම් රටක ස්වාධීනත්වය නොසකලා ජාත්‍යන්තර වශයෙන් මැදිහත්විය යුතු තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවය.

එක් පසෙකින් රෝහින්ග්‍යා වැසියන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ප්‍රශ්නයක් වන මෙය අනෙක් අතින් රෝහින්ග්‍යවරුන් හා බෞද්ධ අන්තවාදීන් අතර ගැටුමක්ද වී තිබේ. එහෙත් ඒ අතරම එතනින් නොනැවතී එක් එක් රටවල හා ලෝක ආර්ථික හා දේශපාලන බලවතුන්ගේ උවමනාවන් අතර ගැටුම් ඇති කෙරෙන තැනක් බවටද මෙය පත්වී ඇත. එබැවින් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් උනන්දුව දක්වන හා ප්‍රතිචාර දක්වන පාර්ශවයන් එය සිදුකරමින් සිටින්නේ ප්‍රශ්නය තමන්ට බලපාන ආකාරයට අනුව බව පෙනෙන්නට තිබේ.

වර්ධනය වන තත්වය පිලිබඳ මත පළකරන දේශපාලන විචාරකයන් සමහර දෙනෙක් රෝහින්ග්‍යා ගැටළුව ආසියානු කලාපයේ යුගොස්ලෝවියව බවට පත්විය හැකියයි අනතුරු අඟවා තිබේ. ඔවුන් පවසන ආකාරයට එක්සත් ජනපදයත් යුරෝපයත් මෙම ගැටළුව මානුෂිය අර්බුදයක් ලෙස විග්‍රහ කරමින් අවශ්‍ය තත්ත්වයන් සකසා ගන්නේ ජාත්‍යන්තර යුදමය මැදිහත් වීමක් සඳහාය. අවසානයේ රක්හින් පළාත කොසෝවෝ මෙන්ම එක්සත් ජනපද මර්මස්ථානයක් බවට පත්කර ගැනීම සඳහාය.

චීනයේ අදහස වී ඇත්තේ මෙම ප්‍රශ්නය මියන්මාරය විසින් විසඳාගත යුතු ගැටළුවක් බවයි. ඒ අතරම එය සාකච්චාවෙන් හා සම්මුතියෙන් විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද ඔවුහු පවසති. ඒ අතරම මේ නිසා මේ ප්‍රශ්නය යුගොස්ලෝවියාවේ මතුවූ තත්වය දක්වා වර්ධනය නොවනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කරයි.

රෝහින්ග්‍යාවරුන්ගේ ප්‍රශ්නය බැලු බැල්මට පෙනෙන හුදු අයිතිවාසිකම් පිලිබඳ එහෙත් නැත්නම් හුදු ජාතික ගැටලුවට වඩා වැඩි යමක් බවට මේ වනවිටත් වර්ධනය වී ඇති බව පෙනේ. මේ නිසා මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී එක් පසෙකින් රෝහින්ග්යාවරුන්ගේ අයිතීන් ආරක්ෂා වන අතරම අනෙක් පසින් අධිරාජ්‍යවාදයට මෙම ප්‍රශ්නය දඩමීමා කර ගනිමින් සිය ආර්ථික, දේශපාලන හා යුදමය වුවමනාවන් ඉටුකර ගැනීමට ඉඩනොදෙන්නාවූ එකක් විය යුතුය.
-නියමුවා,
2017 ඔක්තෝබර්

2 comments:

  1. You have done a good research! A good and a useful article Chathu!🙋

    ReplyDelete